NCJD - SinhalaSub https://dseek.sldrive.cc/subtitle/ncjd/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:08:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png NCJD - SinhalaSub https://dseek.sldrive.cc/subtitle/ncjd/ 32 32 The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-miracle-worker-1962-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-miracle-worker-1962-sinhala-subtitles/#respond Wed, 25 Oct 2023 14:01:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58461 The Miracle Worker Sinhala Sub The Miracle Worker Sinhala Subtitles The Miracle Worker (1962) Sinhala Sub The Miracle Worker (1962) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්. ඇත්තටම කිව්වොත් ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් කතාවක්. අපි අතරෙම තියෙන ඒත් අපි ගොඩ දෙනෙක් නොදන්න කතාවක්. එක විදියකට ගත්තොත් බය හිතෙන කතාවක්. මට ඔට්ටු අල්ලන්න […]

The post The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Miracle Worker Sinhala Sub
The Miracle Worker Sinhala Subtitles
The Miracle Worker (1962) Sinhala Sub
The Miracle Worker (1962) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්. ඇත්තටම කිව්වොත් ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් කතාවක්. අපි අතරෙම තියෙන ඒත් අපි ගොඩ දෙනෙක් නොදන්න කතාවක්. එක විදියකට ගත්තොත් බය හිතෙන කතාවක්. මට ඔට්ටු අල්ලන්න පුළුවන් අපි බලලා තියෙන හොල්මන්, අවතාර සම්බන්ධ කතා, එහෙම නැත්නම් වෙනත් විදියේ ත්‍රාසජනක කතා වලට වඩා සෑහෙන බය හිතෙන කතාවක් මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා. මොකද මේක මනඃකල්පිත කතාවක් නොවී ලෝකෙ ඇත්තටම සිදු වුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක් නිසා.

හැබැයි මේ කතාවෙ හොල්මන්, අවතාර, රාක්ෂයො, දාම ඝාතකයො (serial killers) වගේ කවුරුවත් නැහැ. මේකෙ ප්‍රධාන චරිත විදියට ඉන්නේ පොඩි ගෑණු ළමයෙකුයි එයාගෙ ගුරුවරියයි. ඒ වගේම මේක අයිති වෙන්නේ චරිතාපදාන චිත්‍රපටි (biographical film, biopic) ගණයට. ඉතින් මොකක්ද මේකෙ තියෙන ඔය තරම් බය හිතෙන කාරණාව…? හරි, එහෙම බය හිතෙන්න නම් මේ කතාවෙ සිදුවීම අපට ආදේශ කරගෙන පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.

අපිට හරි, අපි ආදරය කරන කෙනෙක්ට හරි මේ වගේ දෙයක් වුණොත් අපි මොකද කරන්නේ. ලෝකෙ කාගෙන්වත් උදව්වක් හොයාගන්න බැරි, හැමෝම වගේ විසඳුමක් නැහැ කියලා කියන ලොකු ප්‍රශ්නයක් අපිට උදා වුණොත් අපි මොකද කරන්නේ? අඬනවා… ඔව්, ඒක තමයි ඉතින් වැඩි දෙනෙක් සම්බන්ධයෙන් කියන්න වෙන උත්තරේ නේද? මානසිකව වැටෙනවා, සියදිවි නසාගන්න හිතනවා එක්කෝ නැත්නම් මුකුත් නොකර ජීවිතේ ඔහේ ගත වෙන්න අරිනවා. බොහොම ටික දෙනෙක් තමයි ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයාගන්න මහන්සි වෙන්නේ. ඒ අතරිනුත් කීප දෙනෙක් තමයි ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනකම්ම දිගටම උත්සාහවත් වෙන්නේ. අපි උත්තර නැහැමයි කියලා හිතන සමහර ප්‍රශ්න වලටත් උත්තර හොයාගත්ත මිනිස්සු ලෝකෙ ඉඳලා තියෙනවා, දැනුත් ඉන්නවා, අනාගතයෙත් ඉඳීවි. හැබැයි සමහර ප්‍රශ්න වලට තියෙන ඒ උත්තරේ හොයාගන්න එක ලේසි දෙයක් නම් නෙවෙයි.

අහලා තියෙනවද හෙලන් කෙලර් ගැන? ලංකාවෙ අපි නම් වැඩිය දන්නේ නැති වුණාට ඇමෙරිකාවෙ ටිකක් ප්‍රසිද්ධ චරිතයක් තමයි හෙලන් කෙලර් කියන්නේ. ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන මේ The Miracle Worker කියන චිත්‍රපටියෙන් කියවෙන්නේ මේ හෙලන් කෙලර්ගේ කතාව. හැබැයි එයාගේ සම්පූර්ණ ජීවිත කතාවම නෙවෙයි. එයාගේ පොඩි කාලෙ, ඒ කියන්නේ අවුරුදු 7 – 8 වගේ වයසෙදි සිද්ධ වුණු ජීවිත පරිවර්තනය ගැන තමයි මේ චිත්‍රපටියෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ.

ඉතින් ඊට පස්සේ, ඒ කියන්නේ මේ ජීවිත පරිවර්තනයෙන් පස්සේ මොකද වුණේ? ඔව්, ඒ ටික අපිට චිත්‍රපටියෙන් දකින්න වෙන්නේ නැති නිසා මම ඒ ගැන ඉස්සරහට විස්තර කරලා තියෙනවා. ඒත් මට තවමත් කියන්න බැරි වුණානෙ මොකක්ද මේ බය හිතෙන කාරණාව කියලා. ඒ ගැන ලිපියේ ඉස්සරහට විස්තර කෙරෙනවා. ඉතින් ඒ බය හිතෙන කාරණාවත් එක්ක එන ප්‍රශ්න වලින් ගොඩ යන්න නම් ජීවිත පරිවර්තනයක් සිදු වීම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිබුණා. එහෙම වුණේ නැත්නම් හෙලන්ට උරුම වෙලා තිබුණේ එක දෙයක් විතරයි. ඒ තමයි සදාකාලික අඳුර!

හෙලන්ගේ කතාව කියන්න කලින් මම ඔයාලට චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්. චිත්‍රපටිය නිකුත් වුණේ නම් 1962 දී. අපෝ කමකට නැති පරණ චිත්‍රපටියක්නේ කියලා හිතෙනවත් ඇති නේද? මම චිත්‍රපටිය හොඳම එකක්, සුපිරියක් කියල කියන්න යන්නේ නැහැ. මොකද ඒක තීරණය වෙන්නේ එක එක්කෙනා පෞද්ගලකව ඒ දිහා බලන කෝණයෙන් කියලා මම හිතන නිසා. හැබැයි මට කියන්න පුළුවන් මම චිත්‍රපටියට කැමතිද නැද්ද කියලා නම්.

කොහොම වුණත් සමහර වෙලාවට ගොඩාක් දෙනෙක් හොඳයි, සුපිරියි කියලා කියන චිත්‍රපටි පවා අපිට එච්චර සෙට් නැහැ වගේ දැනෙන අවස්ථා ඉතින් ඕගොල්ලොත් අත් විඳලා ඇති. ඒ නිසා තමයි අපිට චිත්‍රපටියෙ කතාව පැත්තට අවධානය යොමු කරන්න වෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් වෙනවා අනිත් අය චිත්‍රපටියට කැමතිද නැද්ද කියන එකට වඩා චිත්‍රපටියෙ කතාවට අපි කැමතිද නැද්ද කියන එක මත චිත්‍රපටියක් තෝර ගන්න. හරි තාමත් මම හෙලන්ගේ කතාව කිව්වෙත් නැහැ, චිත්‍රපටිය ගැන කිව්වෙත් නැහැ, ඒ වෙනුවට වෙන කතාවක් පටන් අරං නේද? ඉතින් මට කියන්න ඕන වුණේ චිත්‍රපටි පරණ වුණ පළියට කතාව රසවත් නොවෙන්නේම නැහැ කියන එක. හරි, එහෙනම් අපි යමුකො විස්තරේට.

මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 8.1 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම 1963 දී පැවත්වුණ 35 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම නිළිය සහ හොඳම සහාය නිළි‍ය කියන අංශ දෙක සඳහා වන සම්මාන ද්විත්වයම දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ ඈන් සලිවාන් චරිතය රඟපෑම වෙනුවෙන් ඈන් බැන්ක්‍රොෆ්ට් හොඳම නිළිය විදියටත්, හෙලන් කෙලර් චරිතය රඟපෑම වෙනුවෙන් පැටී ඩියුක් හොඳම සහාය නිළිය විදියටත් තමයි සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ.

මේ සිදුවීම ඔස්කාර් සම්මාන ඉතිහාසයේ සුවිශේෂී වෙනවා. මොකද හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ නොවූ චිත්‍රපටයක්, හොඳම රංගනය සඳහා වන ඔස්කාර් සම්මාන දෙකක් දිනා ගත්ත පළමු අවස්ථාව එය වීම නිසා. මේ විදියෙ අවස්ථා ඔස්කාර් ඉතිහාසයේ තවත් වාර්තා වෙන්නේ එකක් විතරයි. ඒ, ඊට පස්සේ අවුරුද්දේ, ඒ කියන්නේ 1964 දී Hud චිත්‍රපටිය විසින් හොඳම රංගනය සඳහා වූ සම්මාන දෙකක් දිනා ගැනීම.

ඒ වගේම තමයි ඔස්කාර් සම්මානය දිනා ගද්දී පැටී ඩියුක් ගේ වයස අවුරුදු 16 ක් වුණා. ඒ නිසා ඇය තමයි ඒ කාලෙදි තරගකාරී අංශයකින් ඔස්කාර් සම්මානයක් දිනා ගත්ත ලබාලතම පුද්ගලයා හැටියට සැළකුණේ. The Miracle Worker චිත්‍රපටිය ඉස්සල්ලා කිව්ව සම්මාන දෙකට අමතරව හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරපිටපත සහ හොඳම ඇඳුම් නිර්මාණය කියන අංශ වලින් තවත් ඔස්කාර් සම්මාන තුනකට නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් ඒ 1962 අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපටි අතරින් ඔස්කාර් සම්මාන එකකට වඩා දිනා ගන්න සමත් වෙන්නේ චිත්‍රපටි 4 ක් විතරයි. The Miracle Worker හැරුණම ඒ සමත් කම පෙන්නලා තියෙන්නේ ඔස්කාර් සම්මාන 7 ක් දිනා ගත්ත Lawrence of Arabia, සම්මාන 3 ක් දිනා ගත්ත To Kill a Mockingbird සහ සම්මාන දෙකක් දිනා ගත්ත The Longest Day කියන චිත්‍රපටි ත්‍රිත්වය තමයි.

ඉතින් 1963 ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්න අවුරුදු 8 කට කළින් 1955 දී පැවැත්වුණු 28 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ දී විශේෂ සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය අපේ කතා නායිකාව වෙන හෙලන් කෙලර්ට සම්බන්ධයි. ඒ තමයි, ඒ අවුරුද්දේ හොඳම වාර්තා චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්න සමත් වෙන්නේ හෙලන් කෙලර් ගේ ජීවිතය පදනම් කරගෙන නිර්මාණය වුණු Helen Keller in Her Story කියන වාර්තා චිත්‍රපටිය වීම.

1954 දී ඒ වාර්තා චිත්‍රපටිය නිර්මාණය වෙද්දී හෙලන් කෙලර් ගේ වයස අවුරුදු 74 ක් වුණා. ඒ චිත්‍රපටියේ හෙලන් කෙලර්ගේ වැඩිහිටි ජීවිතය, ඒ කාල වකවානුවේ දී ඇය ජීවත් වුණු විදිය, ඇය ගිය විදෙස් සංචාර, යුද්ධයේ දී තුවාල ලැබූ රණවිරුවන් හමුවන හැටි, නොයෙකුත් අබාධ සහිත පුද්ගලයින් මුණ ගැසී ඔවුන් දිරිමත් කරන ආකාරය වගේ නොයෙකුත් දේවල් විදහා දැක්වුණා. ඉතින් මම කළිනුත් කිව්වා වගේ අපි අද කතා කරන The Miracle Worker චිත්‍රපටියේ තියෙන්නේ හෙලන් කෙලර් ගේ ළමා කාලය ගැන.

1962 දී නිකුත් වුණු චිත්‍රපටියට අමතරව The Miracle Worker කියන නමින්ම 1979 සහ 2000 වර්ෂ වලදී, හෙලන් කෙලර් ගේ ළමා කාලය තේමා කරගෙන තවත් චිත්‍රපටි දෙකක් නිකුත් වෙලා තියෙනවා. එම චිත්‍රපටිත් විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා.

මේ චිත්‍රපටි වලට අමතරව 1957 දී The Miracle Worker යන නමින්ම නාට්‍යයකුත් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඒ නාට්‍යයේත් ප්‍රධාන චරිත රඟ දක්වලා තියෙන්නේ කළින් කිව්ව ඔස්කාර් සම්මාන ලාභී ඈන් බැන්ක්‍රොෆ්ට් සහ පැටී ඩියුක් කියන නිළියන් දෙපළ විසින්ම තමයි. තව 1984 දී, Helen Keller: The Miracle Continues යන නමින් රූපවාහිනය වෙනුවෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකුත් විකාශය වෙලා තියෙනව. මීට අමතරව හෙලන් කෙලර්ගේ ජීවිත කතාව ආභාෂ කරගෙන නිර්මාණය වුණු හින්දි චිත්‍රපටියකුත් 2005 වර්ෂයේ දී තිරගත වෙනවා. එහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ අමිතාබ් බච්චන් සහ රාණි මුකර්ජි විසින්. මේ චිත්‍රපටියත් සෑහෙන සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලබලා තියෙනවා. ඒ චිත්‍රපටිය තමයි Black චිත්‍රපටිය. 

ඉතින් කවුද මේ හෙලන් කෙලර් කියන්නේ? ඇය ගැන මේ තරම් චිත්‍රපටි, නාට්‍ය බිහිවෙන්න තරම් මොකක්ද තිබුණු විශේෂත්වය? චිත්‍රපටි, නාට්‍ය විතරක් නම් මදැයි, තව ඇය ගැන ලියවෙච්ච පොත්, පුවත්පත් වාර්තා, ඇය ගැන නිර්මාණය වෙච්ච රූපවාහිනී වැඩසටහන්, යූටියුබ් වීඩියෝ, ඇගේ නමින් බිහිවුණු පදනම් ආයතන, යූටියුබ් නාලිකා, ඇගේ නමින් නම් කෙරුණු දිනයන්, ඇය වෙනුවෙන් ඉදි කෙරුණු ප්‍රතිමා ආදී වශයෙන් තවත් බොහෝ දේවල් මේ ලැයිස්තුවට අයිතියි. හෙලන් කෙලර් ඉපදුණේ 1880 ජුනි 27 වෙනිදා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා වල, බටහිර ටස්කම්බියා වල දී, ආතර් හෙන්ලි කෙලර් සහ කැතරින් එව්‍රට් කෙලර් යන දෙපළට දාව.

ආතර් හෙන්ලි කෙලර් කියන්නේ ඇමෙරිකන් සිවිල් යුද්ධ කාලෙදි කන්ෆෙඩරේට් හමුදා වල හිටපු කැප්ටන් කෙනෙක්. (මේ ඇමරිකන් සිවිල් යුද්ධය හා සම්බන්ධ සිදුවීම් ගැන චිත්‍රපටිය තුළ තැනින් තැන කතා වෙනවා. ඒ කතා බහ චිත්‍රපටියේ ප්‍රධාන කතා තේමාවට ලොකු අදාළත්වයක් නැති නිසාත් මම මේ යුද්ධය ගැන කෙටි පැහැදිලි කිරීමක් The Last Samurai චිත්‍රපටියට ලියපු ලිපියේ කරලා තියෙන නිසාත් ආයෙත් ඒ ගැන ලියන්න යන්නේ නැහැ.) මේ ආතර් කෙලර් පවුල වහල් හිමි ධනවත් පවුලක් වුණා.

හෙලන්ට වයස මාස දහ නවයක් වෙද්දී ඇති වුණු රෝග තත්ත්වයක් නිසා අභාග්‍යසම්පන්න විදියට ඇගේ දෑස් නොපෙනී යනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රෝගය නිසා හෙලන් බිහිරි බවටත් පත් වෙනවා. මේ රෝග තත්ත්වය මොකක්ද කියලා වෛද්‍යවරුන් අතරත් පවතින්නේ විසංවාදයක්. දැන් පූර්ණ අන්ධ සහ පූර්ණ බිහිරි බවට පත් වුණු ළදරු හෙලන්ට කිසිම දෙයක් පේන්නෙත් නැහැ, කිසිම දෙයක් ඇහෙන්නෙත් නැහැ. මාස දහ නවයක් (අවුරුදු 1 1/2ක්) කියන්නේ භාෂාවක් පුළුවන් වෙන වයසකුත් නෙවෙයි, ඒ වෙනකල් දැකපු, අහපු දේවල් ලොකුවට මතකෙට යන වයසකුත් නෙවෙයි.

දැන් හෙලන් ටිකෙන් ටික ලොකු වෙනවා, මුකුත් පේන්නේ නැති, මුකුත් ඇහෙන්නේ නැති අඳුරු නිහඬ ලෝකෙක තනිවෙලා. ඇයට කිසිම දෙයක් උගන්වන්න හෙලන්ගේ දෙමව්පියන්ට තේරෙන්නෙත් නැහැ. මෙන්න මේක තමයි මම මුලින්ම කියපු භයානක සිද්ධිය. මෙතනදි හෙලන් වගේම හෙලන්ගේ දෙමවුපියොත් අසරණ වෙලා. ඒ කාලේ හැටියට උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්, තැනක් තියෙනවද කියලවත් ඔවුන්ට අවබෝධයක් නැහැ. දෙමවුපියනුත් තමන්ගේ දරුවට අත් වුණු අවාසනාවන්ත ඉරණම ගැන හැඬූ කඳුලෙන්. දෙමවුපියො නැති වෙලා හෙලන් තනිවුණු දවසක ඇයට අත්වන ඉරණම ගැන ඊටත් වඩා මහ දුකක්.

ප්‍රාථමික මට්ටමේ සංඥා කීපයක් හැරුණම වයස අවුරුදු හත වෙද්දිත් හෙලන්ට ලෝකය ගැන, තමන් හැසිරෙන්න ඕන විදිය ගැන, ගුණධර්ම, ආදරය, කරුණාව වගේ මිනිස් හැඟීම් ආදිය ගැන සැළකිය යුතු මට්ටමේ අවබෝධයක් ලැබිලා තිබුණේ නැහැ. දෙමව්පියනුත් තමන්ගෙ දරුවට තියෙන ආදරය සහ ඇගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ආබාධිත බව ගැන තියෙන අනුකම්පාව නිසා ඇයව හික්මවන්න මහන්සි නොවී හෙලන්ට කැමති පරිදි දේවල් සිදු කරන්නට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර තිබුණා. ඒකෙන් තත්තවය වඩාත් නරක අතට හැරෙමින් තිබුණා. හෙලන් හැසිරෙමින් හිටියේ හීලෑ නොකළ වන සත්ත්වයෙකුට ආසන්න විදියට!

තමන්ගේ ඒ අඳුරු ළමා විය පිළිබඳ මතකයන් හෙලන් සිය ස්වයං චරිතාපදානය තුළ හෙළිදරව් කරලා තියෙන්නේ මේ විදියට. 

මගේ අසනීපයෙන් පසු පළමු මාසවලදී සිදුවූයේ කුමක්දැයි මට මතක නැත. අම්මා ගෙදර වැඩ කරද්දී මම අම්මාගේ ඔඩොක්කුවේ ඉඳගෙන හෝ ඇඳුමේ එල්ලී සිටි බව පමණක් මම දනිමි. මගේ දෑතට සෑම වස්තුවක්ම දැනුණු අතර එමගින් ඒවායේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරමින් මම බොහෝ දේ දැන ගැනීමට ඉගෙන ගතිමි. වැඩි කල් නොගොස් මට අන් අය සමඟ යම් සන්නිවේදනයක අවශ්‍යතාවය දැනුණු අතර ගොරහැඩි සංඥා සටහන් කිරීමට පටන් ගත්තෙමි. හිස සෙලවීමකින් “නැහැ” යන්නත්, “ඔව්” යන හිස වැනුමෙන් “එන්න” යන්නත්, තල්ලු කිරීමකින් “යන්න” යන්නත් අදහස් විය. මට අවශ්‍ය වූයේ පාන්ද?

එවිට මම පෙති කපා බටර් ගා කරන ක්‍රියාවන් අනුකරණය කරමි. මට මගේ අම්මාට රාත්‍රී ආහාරය සඳහා අයිස්ක්‍රීම් සෑදීමට අවශ්‍ය නම්, මම අධිශීතකරණයේ වැඩ කරන බවට ලකුණක් සාදා සීතල අඟවමින් වෙව්ලමින් සිටියෙමි. එපමණක්ද නොව, මගේ මව මට හොඳ අවබෝධයක් ලබා දීමට සමත් විය. ඇයට මා ලවා යමක් ගෙන්වා ගැනීමට අවැසි වූ සෑම විටම මා එය දැන සිටි අතර, මම ඉහළ මාලයට හෝ ඇය පෙන්වා දුන් වෙනත් ඕනෑම තැනකට දුවමි. ඇත්ත වශයෙන්ම, මගේ දිගු රාත්‍රියේ දීප්තිමත් හා යහපත් වූ සියල්ලටම මම ඇගේ ආදරණීය ප්‍රඥාවට ණයගැති වෙමි. 

මම අනෙක් මිනිසුන්ට වඩා වෙනස් බව මට මුලින්ම වැටහුණේ කවදාදැයි මට මතක නැත; නමුත් මගේ ගුරුවරිය මා වෙත පැමිණීමට පෙර මම එය දැන සිටියෙමි. අම්මා සහ මගේ යහළුවන් ඔවුන්ට යමක් සිදු කර ගැනීමට අවශ්‍ය වූ විට මා මෙන් සංඥා පාවිච්චි නොකර කටින් කතා කරන බව මම දැක තිබුණෙමි. සමහර වෙලාවට මම කතා කරන දෙන්නෙක් අතරේ හිටගෙන ඔවුන්ගේ තොල් ඇල්ලුවෙමි. මට තේරුම් ගැනීමට නොහැකි වූ අතර, මම කෝපයට පත් වීමි. මම මගේ තොල් එහා මෙහා කර කර වියරුවෙන් සංඥා කළෙමි. 

මේ නිසා මට වෙලාවකට කොච්චර කේන්ති ගියාද කියනවා නම් මම පයින් ගසමින් කෑ ගැසුවෙමි. මා සිතන පරිදි මා නරකට හැසිරෙමින් සිටි බව මම දැන සිටියෙමි, මොකද මම දැනගෙන හිටියා මගේ නර්ස්, මගේ හෙදියට පයින් ගැසීම නිසා ඇයට රිදෙනවා කියලා, මගේ කේන්තිය ඉවර වුණාම මට පසුතැවෙන්න වගේ හැඟීමක් ඇති වුණා. නමුත් මට අවශ්‍ය දේ ලබා ගැනීමට මා අපොහොසත් වූ විට එම අශිෂ්ටත්වය නැවත නැවත කිරීමට මෙම හැඟීම මට බාධා කළ කිසිදු අවස්ථාවක් මට මතක නැත.

ඔන්න ඔය කාලෙදි තමයි චාල්ස් ඩිකන්ස් කියන ලෝක ප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතික ගත් කතුවරයා ඇමෙරිකාවෙ සංචාරයක නිරත වෙලා තමන්ගේ සංචාරක අත්දැකීම් අළලා ඇමෙරිකන් නෝට්ස් කියන වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. වාසනාවකට වගේ මේ වාර්තාව කියවන්න ලැබෙනවා හෙලන්ගේ අම්මට, ඒ කියන්නේ කැතරින් කෙලර්ට. ඒ 1886 දී. කොහොමද මේ සංචාරක අත්දැකීම් වාර්තාවක් කියවන එක වාසනාවක් වෙන්නේ? ඒ මොන හතර බීරි කතාවක්ද?

හරි, ඒ වාර්තාවේ සටහන් වෙලා තිබුණා එක සුවිශේෂ දෙයක්. අන්න ඒ නිසා තමයි ඒක වාසනාවක් වෙන්නේ. වාසනාවක් කිව්වට ඒ වාසනාව නිකම්ම උදා වෙන්නේ නැහැ. සෑහෙන මහන්සි වෙන්න වෙනවා. (ඒ වාසනාව උදා කර ගැනීමේ කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.) ඩිකන්ස් ගේ සංචාරක වාර්තාවේ තිබුණා ඔහු ඇමෙරිකාවෙදි දැකපු පුදුම සහගත දෙයක්. ඒ තමයි ලෝරා බ්‍රිජ්මන් කියන පූර්ණ අන්ධ සහ බිහිරි කාන්තාව සාර්ථක අන්දමින් අධ්‍යාපනය ලබා තිබෙන ආකාරය පිළිබඳ කතාව.

මේකෙන් හෙලන්ගේ අම්මා සෑහෙන බලාපොරොත්තු සහගත වෙනවා තමන්ගේ දුව, හෙලන් වෙනුවෙන් කිසියම්ම හෝ දෙයක්, අධ්‍යාපන වැඩපිළිවෙලක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කැතරින් ගේ පෙළඹවීම නිසා හෙලන්ගේ තාත්තා, කැප්ටන් කෙලර් හෙලන්ව එක්ක ගෙන යනවා වෛද්‍යවරෙක් ළඟට. ඇයව පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔවුන්ව යොමු කරනවා ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ළඟට. ඔව්, ඒ සුප්‍රසිද්ධ විද්‍යාඥ‍යා ඒ කාලේ බිහිරි ළමුන් පිළිබඳව පර්යේෂණ කටයුතු කරමින් ඉඳලා තියෙනවා.

ඒ නිසා තමයි වෛද්‍යවරයා ඔවුන්ව බෙල් ළඟට යවලා තියෙන්නේ. බෙල් ඔවුන්ට කියනවා ලෝරා බ්‍රිජ්මන් ඉගෙන ගත්ත දෘශ්‍යාබාධ සහිත වූවන් සඳහා වන පර්කින්ස් පාසලෙන් ඒ ගැන විමසීමක් කරලා බලන්න කියලා. ඉතින් ඒ පාසලේ ප්‍රධානියා විසින්, එහිම ආදි සිසුවියක් වෙන ඈන් සලිවාන්ව, හෙලන්ට ගුරුහරුකම් ලබා දීම සඳහා හෙලන්ගේ නිවසට එවනු ලබනවා. ඉතින් ඒ ආවට පස්සේ මොකද වෙන්නේ කියලා ඕගොල්ලන්ට චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

හෙලන් ගේ කතාව පේන තරමටම දුක්ඛ දායක වුණේ නැහැ. හෙලන් පස්සෙ කාලෙක ලෝක ප්‍රසිද්ධියට පත් වෙනවා. චිත්‍රපට ගණනාවකට පදනම වුණු ඇගේ ජීවිත කතාව ලියා එළි දක්වනවා. තවත් කෘති ගණනාවක් රචනා කරනවා. ඇය කතා කරන්නත් ඉගෙන ගන්නවා. බ්‍රෙල් යතුරු ලියනය වගේම සාමන්‍ය යතුරු ලියනයත් ඇය භාවිතා කරනවා. ලෝකය වටෙන්ම ඇයට ලිපි ලැබෙනවා. ඇය දේශන පවා පවත්වනවා. ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පාන්න සිදු වුණා වුණත් හඬා වැළපෙමින් නොසිට කළ යුතු දේවල් කරපු නිසාත්, ඇගේ ගුරුවරිය වුණු ඈන් සලිවාන්ගේ අසීමිත කැපවීම නිසාත් අවසානයේ දී හෙලන් කෙලර් යන නම ලෝකයේ අමරණීය නමක් බවට පත් කරමින් හෙලන් කෙලර් අවුරුදු 87 ක් ජීවත් වී 1968 ජුනි 1 වැනිදා මෙලොවින් සමු ගත්තා.

එහෙනම් වෙනදා වගේම චිත්‍රපටිය නරඹලා රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ NCJD  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-miracle-worker-1962-sinhala-subtitles/feed/ 0
The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-last-samurai-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-last-samurai-2003-sinhala-subtitles/#comments Sun, 08 Oct 2023 21:54:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56033 The Last Samurai Sinhala Sub The Last Samurai Sinhala Subtitles The Last Samurai (2003) Sinhala Sub The Last Samurai (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! The Last Samurai චිත්‍රපටිය තිරගත වෙන්නේ 2003 අවුරුද්දේ දී. ඩොලර් මිලියන 456 ක ආදායම් වාර්තාවක් තියපු මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ තිරගත වුණ චිත්‍රපටි අතරින් හය වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය […]

The post The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Last Samurai Sinhala Sub
The Last Samurai Sinhala Subtitles
The Last Samurai (2003) Sinhala Sub
The Last Samurai (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

The Last Samurai චිත්‍රපටිය තිරගත වෙන්නේ 2003 අවුරුද්දේ දී. ඩොලර් මිලියන 456 ක ආදායම් වාර්තාවක් තියපු මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ තිරගත වුණ චිත්‍රපටි අතරින් හය වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය වුණා. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟ පාන්නේ අපි කවුරුත් දන්න ටොම් කෲස්. ඉතින් ටොම් කෲස් කියද්දී 2022 දී ඩොලර් බිලියන 1.4 ක සුපිරි ආදායම් වාර්තාවක් තබමින් තිරගත් වෙච්ච Top Gun: Maverick චිත්‍රපටිය එහෙමත් මතක් වෙනවා ඇති නේද කට්ටියට? එතකොට මේ The Last Samurai චිත්‍රපටියේ අවසන් සමුරායිවරයාගේ චරිතය රඟපාන්නේ ජපන් නළු කෙන් වටනාබේ. එම චරිතය රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයට ඔහුව නිර්දේශ වෙලා තියෙනවා. ඊට අමතරව මේ චිත්‍රපටිය හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම ශ්‍රව්‍ය සංකලනය කියන අංශ ඔස්සේ තවත් ඔස්කාර් සම්මාන තුනකටත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනකටත් නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම IMDB රේටිං වල 7.8 ක අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ජපානය තුළ මේ චිත්‍රපටිය අති සාර්ථක වෙලා තියෙනවා. ඒ එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් දෙකේදිම ලබපු ආදායමට වඩා වැඩි ආදායමක් ජපානය තුළ දී උපයමින්.

එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දිහාවට හැරෙමු නේද? මේ චිත්‍රපටියේ කතාව ගොඩනගලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ජපන් ඉතිහාසයත් ඇමෙරිකන් ඉතිහාසයත් ඒකාබද්ධ කරලා. හරියටම කිව්වොත් 19 වන ශත වර්ෂයේ දී ජපානයෙත්, ඇමෙරිකා එක්සත් ජනපදයෙත් සිදු වුණු සත්‍ය සිදු වීම් වලට ප්‍රබන්ධමය කරුණුත් එකතු කරල තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් පහළින් මම උත්සහ කරල තියෙන්නේ ඒ ඉතිහාස සිදු වීම් පෙළ වගේම චිත්‍රපටියට ඒවා සම්බන්ධ වෙලා තියෙන විදිහ පැහැදිලි කරන්න. එතකොට චිත්‍රපටියෙ කියවෙන සමහර සිද්ධි අපැහැදිලියි වගේ තියෙනවා නම් ඒවත් පහළ තියෙන විස්තරයෙන් පැහැදිලි වෙයි කියලා හිතනවා.

ලිට්ල් බිග් හොර්න් සංග්‍රාමය සිදු වුණේ 1876 ජුනි 25 – 26 දින වල දී. කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් ජපානයට යන්න නැව් නැගලා, තමන්ගේ ජර්නල් එකේ සටහන් තියන්නේ 1876 ජුලි 12 වෙනිදා. එතකොට ඉයුජින් කොලෙක් සහ යූල්ස් බෲනෙට් ජපානයට ඇවිල්ලා තියෙන්නේ 1867 දී. ඒ වගේම තමයි ජපානයේ සත්සුමා කැරැල්ල ආරම්භ වුණේ 1877 ජනවාරියේ.

හෝව්! හෝව්! හෝව්! පටන් ගත්ත ගමන් මේ මොකක්ද මේ කියන්නෙ කියලා බලනවා ඇති නේද කට්ටිය? මොකක්ද මේ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය කියන්නේ? කවුද කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් කියන්නේ? කවුද ඉයුජින් සහ යූල්ස් කියන්නේ? මොකක්ද මේ සත්සුමා කැරැල්ල කියන්නේ? ඒ ඔක්කොම පැත්තකින් තියෙද්දි, මේ කියපු දේවල් කොහොමද The Last Samurai චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ? හරි, මේ ලෑස්ති වෙන්නේ ඒ ඔක්කොම පැහැදිලි කරලා දෙන්න. ඒත් මුලින්ම කියන්න ඕන චිත්‍රපටිය බලලා රස විඳින්න, පහළින් කියලා තියෙන ඔක්කොම දේවල් දැන ගෙන ඉන්න ඕනම කියල එකක් නම් නැහැ. හැබැයි දැන ගෙන හිටියොත් වඩාත් අවබෝධයකින් යුක්තව චිත්‍රපටිය බලලා රසවිඳින්න පුළුවන් කියන එක නම් ෂුවර්. එහෙනම් අපි යමු විස්තරේට.

හරි එහෙනම්, මුලින් පටන් ගත්ත තැනටම ආපහු ගියොත්, ලිට්ල් බිග් හෝර්න් කියලා කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා සහ වයෝමිං ජනපද හරහා ගලා බහින ගඟක්. මෙන්න මේ ගඟ අසබඩ දී 1876 ජුනි මාසෙ 25 – 26 දින වල දී, ගිණිකොන දිග මොන්ටානා ප්‍රදේශයේ ක්‍රෝ ඉන්දියන් රක්ෂිත භූමියේ දී ඇති වුණ සංග්‍රාමය තමයි ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය කියලා කියන්නේ. ඉතින් කවුද මේ සංග්‍රාමයේ සටන් වැදුණේ? සංග්‍රාමයක් නම් අඩු තරමේ පාර්ශ්ව දෙකක්වත් ඉන්න ඕනනෙ නේද? ඔව්, පාර්ශ්ව දෙකක් හිටියා. ඒ තමයි එක්සත් ජනපද හමුදාවේ 7 වන අශ්වාරෝහක රෙජිමේන්තුව සහ රතු ඉන්දියානුවන් කියල අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන ඇමෙරිකාවේ ආදි වාසික ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක එකතුවෙන් හැදුණු පිරිස. ඔවුන් තමයි සංග්‍රාමයේ පාර්ශ්ව දෙක වුණේ. (ඉතින් ඕගොල්ලොත් දන්නව ඇතිනේ මේ “රතු ඉන්දියානුවන්” කියන හැඳින්වීම දැන් යල් පැන ගිය සහ තරමක අපහාසාත්මක පදයක් විදියට සළකනවා කියලා. ඒ වෙනුවට දේශීය-ඇමෙරිකානුවන්, නැත්නම් ඇමෙරිකන්-ඉන්දියානුවන් කියන පද තමයි දැන් භාවිත වෙන්නේ. ඒ නිසා මේ ලිපියෙදිත් ඉස්සරහට ඒ පද තමයි යොදලා තියෙන්නේ.) ඉතින් ඇයි ඒ ගොල්ලෝ ඒ විදියට සටන් වැදුණේ? හරි, ඒ ගොල්ලෝ සටන් වැදුණේ ඇයි කියලා බලන්න කලින්, මේ සිද්ධිය කොහොමද චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් බලලා ඉමුද?

චිත්‍රපටියේ ආරම්භක හරියෙදි අපිට හම්බ වෙනවා අපේ කතා නායකයා වෙන කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් (දැන් දන්නවනේ නේතන් ඇල්ග්‍රෙන් කියන්නේ කවුද කියලා), වේදිකාවක් උඩ නැගලා ජනතාව ඉදිරියේ රඟපාන දර්ශනයක්. මෙතනදි ඔහු ලිට්ල් බිග් හෝර්න් ගැන සඳහන් කරනවා. එතකොට රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මුහුණු අඳුරු වෙලා යනවා. හරියට නිකම් දුක හිතෙන දෙයක්, නැත්නම් අකමැති දෙයක් මතක් කලා වගේ. ඉතින් මේ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය කියන්නේ මේ තරම් දුක හිතෙන, අකමැත්තෙන් මතක් කරන්න තරම් දෙයක් ද? යුද්ධ, කැරළි කෝලාහල කාලෙන් කාලෙට ඕන තරම් ලෝකෙ වෙලා තියෙනවානේ. ඉතින් මිනිස්සු ඒ හැම එකක්ම මතක් කරද්දී මේ විදියට දුක් වෙනවා කියලා එකක් නැහැනේ. එහෙනම් මේ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමයේ මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕන. ඔව්, ඒ සංග්‍රාමය විශේෂයි තමයි. විශේෂ වෙන්න එක හේතුවක් තමයි ඒ වෙන කොට ඒ සංග්‍රාමය සිද්ධ වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. හරියටම කිව්වොත් සති දෙකකටත් අඩු කාලයක්. ඉතින් ලඟදි සිද්ධ වෙච්ච යුද්ධයක් ගැන කියද්දි දැනෙන කම්පනය ටිකක් වැඩියි තමයි නේද? ඒ වගේම ඒ සංග්‍රාමයේ දී 7 වන අශ්වාරෝහක රෙජිමේන්තුවේ සියළු දෙනාම වගේ (බේරුණා නම් ඒ ඉතාම සුළු පිරිසක් තමයි) මරණයට පත් වුණා. ඒ නිසා ඒ සිද්ධිය මුළු ඇමෙරිකාවම දැනගෙන හිටියා. ඉතින් ඒ වගේ සිද්ධියක් ගැන කියද්දී මිනිස්සු කම්පනයට පත් වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

හරි එහෙනම් දැන් බලමු කොහොමද ඒ වගේ සංග්‍රාමයකට පාර කැපුණේ කියලා. ඉතින් ඕගොල්ලො දන්නව වගේම ඇමෙරිකාවෙ ඉතිහාසය කියල කියන්නේ අවුරුදු දහස් ගාණක් දුරට ලියවෙච්ච එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට ඒක පටන් ගන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමෙරිකන් මහද්වීපය හොයාගත්ත කාලෙන් තමයි. ඒ 1492 දී. ඒ කාලෙ යුරෝපයෙ මිනිස්සු ඇමෙරිකාවට කීවෙ “නව ලෝකය” කියල. ඉතින් මේ අළුතින් හොයා ගත්ත ලෝකෙ පදිංචි වෙන්න සියවස් කීපයක් තිස්සේ යුරෝපයේ විවිධ රටවලින් මිනිස්සු ඇදිලා ගියා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉංග්‍රීසි ජාතිකයින්. 18 වන ශතවර්ෂය වන විට ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළට ආසන්නව ඉංග්‍රීසි ජනාවාස 13 ක් බිහි වෙලා තිබුණා. බ්‍රිතාන්‍ය කිරීටය මේවායේ සමාජ, ආර්ථික සහ පාලන කටයුතු වලට මැදිහත් වුණා. මේ විදිහට බ්‍රිතාන්‍ය කිරීටය ඇමෙරිකාව තුළ පාලන කටයුතු වලට මැදිහත් වෙනවට ඇමෙරිකාවේ ජනතාව තවදුරටත් කැමති වුණේ නැහැ. මේ නිසා ඊට විරුද්ධව ඇමෙරිකන් විප්ලවය හට ගන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 1776 ජුලි 04 වෙනි දා ඇමෙරිකාවට නිදහස හිමි වෙනවා.

දැන් ඇමෙරිකා එක්සත් ජනපදය කියලා හඳුන්වනු ලබන භූමි ප්‍රදේශය යුරෝපීය ගවේෂකයින් විසින් සොයා ගන්නට කළින්, වසර දහස් ගණනක් තිස්සේ ඇමෙරිකානු ආදි වාසීන් එහි පදිංචි වී සිටියා. ඔවුන් විවිධ භාෂා කතා කළ, විවිධ සංස්කෘතීන්ට සහ විවිධ ගෝත්‍ර වලට අයිති මිනිසුන් වුණා. ඒ අය වැඩි පිරිසක් හිටියේ ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශ වල. 1776 දී එක්සත් ජනපදය පිහිටුවා ගත්තට පස්සේ, ඔවුන් තවදුරටත් එක්සත් ජනපදය බටහිර දෙසට ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා. එහි එක් පියවරක් විදියට ඔවුන් ප්‍රංශයට හිමිවෙලා තිබුණු ලුයිසියානා ප්‍රදේශය ප්‍රංශයෙන් ලබා ගන්නවා. එක්සත් ජනපදය, සමස්ථ මහද්වීපය පුරාම පැතිරවීමේ අරමුණ මත ඇති වූ විශ්වාසයක් වුණු “Manifest Destiny” පදනම් කර ගනිමින් ජනතාව විවිධ මංපෙත් ඔස්සේ බටහිර කරා ගමන් කරන්නට වුණා. එය එක්සත් ජනපදයේ දෛවය යැයි ඔවුන් විශ්වාස කළා. තවද එක්සත් ජනපද රජය විසින් බටහිර ප්‍රදේශ වල මිනිසුන් පදිංචි කිරීම දිරිමත් කිරීම සඳහා හෝම්ස්ටෙඩ් පනත 1862 දී ගෙන එනු ලබනවා. මේ මගින් බටහිර ප්‍රදේශ වල පදිංචි වී, එම භූමි ප්‍රදේශ සංවර්ධනය කරමින්, වගා කටයුතු සිදු කරමින් ජීවත් වන්නට කැමති අයට අක්කර 160 ක ඉඩම බැගින් නීත්‍යානුකූලව රජය විසින් පවරා දෙනු ලැබුවා. ඒ වගේම කැලිෆෝනියානු ප්‍රදේශ වල රත්‍රන් නිධි පවතින බව සොයා ගැනීමත් සමඟ ලෝකයේ නන් දෙසින් ජනතාව ඒ කරා ඇදෙන්නට වුණා. මේ විදියට බටහිට ප්‍රදේශ කරා ජනාවාස ව්‍යාප්ත වෙමින් යන අතරතුර 19 වන ශතවර්ෂයේ දී කාර්මීකරණය සහ නාගරීකරණය ද ඉතා වේගයෙන් සිදු වෙමින් පැවතුනා.

මේ සියල්ල මේ විදියට සිදු වෙමින් පවතිද්දී ඉන් මහත් සේ පීඩාවට පත් වුණ පිරිසකුත් හිටියා. ඒ වෙන කිසිවෙක් නෙවෙයි, ඇමෙරිකන් ඉන්දියන්වරු. ඔවුන්ට තම වාසස්ථාන සහ ජන්ම භූමි ප්‍රදේශ හැර දමා යන්නට බල කෙරුණා. ඒවායින් ඔවුන්ව පන්නා දැමුණා. ඉතින් දෙපිරිස අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් යුරෝපීය ජාතීන් ඇමෙරිකාවට ආපු මුල් කාලෙ ඉඳලම වගේ මේ ගැටුම් පොඩි පොඩියට තිබිලා තියෙන්වා. 19 වෙනි ශතවර්ෂයේ අග භාගය දක්වාම මෙම ගැටුම් කාලෙන් කාලෙට ඇති වෙලා තියෙනවා. මේ ගැටුම් පොදුවේ හඳුවනු ලබන්නේ ඇමෙරිකන්-ඉන්දියන් යුද්ධ කියලා. මේ එක් එක් ගැටුම් වලට විවිධාකාර හේතු කාරණා පදනම් වෙලා තියෙනවා වුණත් වඩාත් පොදු කාරණයක් වෙලා තියෙන්නේ නව ජනපදිකයන්ට සහ රජයට ආදි වාසීන්ගේ භූමි ප්‍රදේශ අයිති කර ගැනීමට අවශ්‍ය වීමයි.

මේ ඇමෙරිකන් ඉන්දියන් යුද්ධ වල එක කොටසක් තමයි සියු යුද්ධ (Sioux Wars) කියල කියන්නේ. ඒ යුද්ධ ඇති වෙලා තියෙන්නේ ඇමෙරිකානු රජය සහ සියු කියන දේශීය ඇමෙරිකානුවන්ගේ විවිධ උප කණ්ඩායම් අතර. ඒ 19 වන ශතවර්ෂයේ අග භාගයේ දී (1850 -1900 අතර කාලයේ දී.) ඒ යුද්ධ මාලාවේ එකක් තමයි 1876 දී ඇති වෙච්ච මහා සියු යුද්ධය (Great Sioux War of 1876) කියන්නේ. අපේ කතාවේ කියවෙන ජෙනරල් ජෝර්ජ් ආම්ස්ට්‍රෝන්ග් කස්ටරුත් නායකත්වය දුන්න යුධ ගැටුමක් තමයි මේ මහා සියු යුද්ධය. හරියටම කිව්වොත් 1876 මහා සියු යුද්ධයෙත් උප කොටසක් වෙන ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය පිළිබඳව තමයි චිත්‍රපටියේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ගැටුම, කස්ටර්ගේ අවසන් නැවතුම (Custer’s Last Stand) කියලත් හඳුන්වනවා. ජෙනරල් කස්ටර් කියන්නේ වෙස්ට් පොයින්ට් හමුදා පුහුණු පාසලෙන් පුහුණුව ලැබූ කෙනෙක්. ඔහු වෙස්ට් පොයින්ට් වලින් පිට වෙන්නේ ඔහුගේ කණ්ඩායමේ අන්තිමයා විදියට. ඒත් ඒ කාලෙදි ඇමෙරිකන් සිවිල් යුද්ධය ආරම්භ වෙමින් තිබුණු කාලෙ. මේ ඇමෙරිකන් සිවිල් යුද්ධයට, අපේ කතා නායකයා වෙන කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන් (ටොම් කෲස්) සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි බලමු මොකක්ද මේ ඇමෙරිකන් සිවිල් යුද්ධය කියන්නේ කියල. බය වෙන්න එපා, අපි ආපහු ලිට්ල් බිග් හෝර්න් වලට එනවා.

ඇමෙරිකන් සිවිල් යුද්ධය

ඇමෙරිකන් සිවිල් යුද්ධය කියන්නේ 1861 ඉඳලා 1865 දක්වා පැවතුණු වෙනමම යුද්ධයක්. ඒ කියන්නේ මේක ඇමෙරිකන් ඉන්දියන් යුද්ධ වලට සම්බන්ධයක් නැහැ. ඇමෙරිකන් සිවිල් යුද්ධය ඇති වුණේ යුනියන්, එහෙම නැත්නම් ‘උතුර’ (The North) කියලා හඳුන්වපු එක්සත් ජනපදයත්, කන්ෆෙඩරසි, එහෙම නැත්නම් ‘දකුණ’ (The South) කියලා හඳුන්වපු එක්සත් ජනපදයෙන් ඉවත් වී ගිය ජනපදත් අතර. මේ ඇමෙරිකන් සිවිල් යුද්ධයට හේතු වුණේ වහල් සේවය අහෝසි කිරීම කියලා කිව්වොත් ඔබ පුදුම වේවි. යුරෝපීයයන් ඇමෙරිකාවේ පදිංචි වුණ මුල යුග වල ඉඳලා වහල් සේවය ඇමෙරිකාවේ මුල බැස ගෙන තිබුණා. “දකුණ” එහි කෘෂිකාර්මික ආර්ථික කටයුතු සඳහා වහල් සේවය මත විශාල වශයෙන් රඳා පැවතුණා. නමුත් “උතුර” කාර්මීකරණය වෙත නැඹුරු වෙමින් විශාල ලෙස වහල් සේවය අහෝසි කරමින් පැවතුණා. ඒ වගේම උතුර සහ දකුණ අතර පැවතුණු ආරථික සහ සමාජ වෙනස්කම්, 1860 දී වහල් සේවයට විරුද්ධ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඒබ්‍රහම් ලින්කන්, ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම වැනි දේශපාලනික හේතු එහෙමත් මේ ඇමෙරිකන් සිවිල් යුද්ධය ඇති වෙන්න බලපෑවා. කොහොම වුණත් සිවිල් යුද්ධයට බලපෑ මේ සියළු කරුණු සමඟ වක්‍රාකාරව හෝ වහල් සේවය හා සම්බන්ධ කරුණු ද බැඳී තිබුණා. අන්තිමේ දී සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට “විමුක්ති ප්‍රකාශනය” (Emancipation Proclamation) මගින් වහල් සේවය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබුවා. ඒ වගේම කන්ෆෙඩරසි හමුදා පරාජයට පත් වෙලා යටත් වීමත් සමඟ සිවිල් යුද්ධය ද නිමාව දුටුවා. මෙන්න මේ උතුර සහ දකුණ අතර ඇති වුණ ඇමෙරිකන් සිවිල් යුද්ධය තමයි ලෝක ප්‍රසිද්ධ Gone with the Wind චිත්‍රපටියෙදි එහෙමත් අපිට දකින්න ලැබෙන්නේ.

ජෙනරල් කස්ටර්

හමුදා පුහුණු පාසලේ දී කස්ටර්, ඔහුගේ කණ්ඩායමේ අන්තිමයා වුණාට සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ හමුදා සෙබළුන්ට තිබුණු ඉල්ලුම වැඩි වුණ නිසා කස්ටර්ටත් සිවිල් යුද්ධයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහි දී අශ්වාරෝහක සේනාංකයේ නායකයෙක් විදියට ඔහු දක්ෂතා පෙන්වලා තියෙනවා.ඒ දක්ෂතා නිසා ඔහුව බ්‍රිගේඩියර් ජෙනරල් තනතුරට උසස් කරනු ලබනවා වයස අවුරුදු 23 ක් වෙද්දී. ඒ උසස් වීමෙන් දින කීපයක් ගත වෙනකොටම වගේ ඔහු ගෙටිස්බර්ග් සංග්‍රාමයෙහි සටන් වදිනවා. ඒ මිචිගන් අශ්වාරෝහක සේනාංකයේ ප්‍රධානියා විදියට. ඇමෙරිකන් සිවිල් යුද්ධයේ ම එක සංග්‍රාමයක් වුණු මෙන්න මේ ගෙටිස්බර්ග් සංග්‍රාමයේ දි අපේ කැප්ටන් නේතන් ඇල්ග්‍රෙන්, ජෙනරල් කස්ටර් යටතේ සටන් කරලා තියෙනවා. හැබැයි කස්ටර් කියන්නේ සැබෑ පුද්ගලයෙක් වුණාට නේතන් ඇල්ග්‍රෙන් කියන්නේ චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය කරන ලද චරිතයක් පමණයි කියන එකත් අපිට මතක තියා ගන්න වෙනවා. ඒ වගේම නේතන්, කර්නල් බෑග්ලි නායකත්වය දුන්න ඇමෙරිකන් ඉන්දියන් යුද්ධ වලත් සටන් වැදිලා තියෙනවා. ඒ ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය සිද්ධ වුණු 1876 ට කාලෙකට උඩ දී. ඒ යුද්ධ වල දී දේශීය ඉන්දියානුවන්ගේ කාන්තාවන් සහ දරුවන් පවා කර්නල් බෑග්ලි හිත් පිත් නැති විදියට කුරිරු ලෙස ඝාතනයා කරලා තියෙනවා. මේ නිසා නේතන්, කර්නල් බෑග්ලි එක්ක ඉන්නේ වෛරයකින්. මේ බව චිත්‍රපටිය තුල දී අපිට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේ කර්නල් බෑග්ලි කියන්නෙත් සැබෑවටම හිටිය පුද්ගලයෙක් නම් නෙවෙයි.

ඇමෙරිකානු සිවිල් යුද්ධය අවසන් වෙලා තවත් අවුරුදු 10 කට පස්සේ තමයි ලිට්ල් බිග් හෝර්න් සංග්‍රාමය සිදු වෙන්නේ. මේ සංග්‍රාමයේ දී කස්ටර් ඇතුළු 7 වන අශ්වාරෝහක රෙජිමේන්තුවේ සියළුම දෙනා පාහේ මිය ගියා කියල තමයි සඳහන් වෙන්නේ. මිය ගිය ගණන විවිධ ඉතිහාස වාර්තා වල වෙනස් විදියට දැක්වෙන නිසා ඒ ගණන හරියටම මෙච්චරයි කියලා කියන්න හැකියාවක් නැහැ. ඒත් චිත්‍රපටියෙ සඳහන් වෙන්නේ ඒ ගණන 211 ක් කියලා. දේශීය ඇමෙරිකානුවන් 2000 ක විතර පිරිසක් සමඟ සටන් වදින්නට ගිය අශ්වාරෝහක රෙජිමේන්තුවේ 211 ක සුළු පිරිස සමූල ඝාතනය වුණ බවයි. කියන්නේ. මේ පරාජයට හේතුව ජෙනරල් කස්ටර් බවයි බොහෝ තැන්වල දැක්වුණේ. ඔහුගේ වගකීම් විරහිත තීරණ දැඩි ලෙස විවේචනයට බඳුන් වුණා. ඔහු තම කුඩා බල ඇණිය තව දුරටත් බෙදා වෙන් කර විශාල ගම්මානයක් වැටලීම සඳහා යැවීමෙන් බල ඇණියේ ශක්තිය තවදුරටත් හීන කර වූ බව ඔහුට එල්ල වන එක් චෝදනාවක්. ඔහු දේශීය ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව අවතක්සේරු කරමින්, තවත් විශාල හමුදා භට පිරිස් ඔහුට සම්බන්ධ වීමට පැමිණෙමින් සිටින බව දැන දැනම, ඔවුන් එනතෙක් පමා නොවී පහර දීමට තීරණය කර තිබුණා. ඔහු සටනට අවතීර්ණ වුණේ ඉක්මන් සහ පහසු ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ආරක්ෂක උපාය මාර්ග අනුගමනය නොකරමිනුයි. කස්ටර්ගේ එම අමනෝඥ ක්‍රියා මාර්ගය නිසා බොහෝ පිරිසකගේ ජීවිත අහිමි වුණා. මේ නිසා කස්ටර්ට බොහෝ දෝෂාරෝපණ එල්ල වුණා (ඒ වෙද්දී ඔහු මිය ගිහිල්ලා තිබුණා වුණත්.) ප්‍රසිද්ධිය ලබා ගැනීමට සහ තනතුරු වලින් ඉහලට යාමේ ආශාවෙන් ඔහු පොළඹවන ලද බවත්, සිවිල් යුද්ධයේ දී ලද ජයග්‍රහණ හේතුවෙන් ඔහු තමන් පිළිබඳව අධි තක්සේරුවකින් සිටි බවත්, ජනමාධ්‍යවේදීන් සමඟ සබඳතා ගොඩනගා ගනිමින් මිනිසුන් අතර තමන්ව හුවා දක්වා ගැනීම සඳහා කටයුතු කළ බවත්, හමුදා ජීවිතයෙන් පසු දේශපාලනයට අවතීර්ණ වීමේ අරමුණක් ඔහුට පැවති බවත්, තම පුද්ගලික සුබ සිද්ධිය සහ කීර්තිය වෙනුවෙන් තම හමුදාව බිල්ලට දුන් බවත්, තම පෙනුම ආදියෙන් පවා ආවේණික වූ පෞද්ගලික ප්‍රතිරූපයක් සහ සන්නාමයක් පිළිබිඹු කරවා ගැනීමට තැත් කළ බවත් ආදී වශයෙන් බොහෝ චෝදනා ඔහුට එල්ල වුණා. ඉතින් මෙන්න මේ හේතු කාරණා පදනම් කරගෙන තමයි චිත්‍රපටියේ අපේ කතා නායකයා වෙන නේතන් ඇල්ග්‍රෙන් පවා ජෙනරල් කස්ටර් පිළිබඳව අප්‍රසාදයෙන් කතා කරනවා අපිට දකින්න ලැබෙන්නේ.

මෙයිජි අධිරාජ්‍යයා

හරි එහෙනම්, චිත්‍රපටියට පාදක වෙච්ච ඇමෙරිකන් ඉතිහාසය ගැන කතා කලාට පස්සේ පොඩ්ඩක් බලමු එයට පාදක වෙච්ච ජපන් ඉතිහාසය පිළිබඳවත්. ජපානය මේ කාලයේ දී පාලනය කරනු ලැබුවේ මෙයිජි අධිරාජ්‍යයා විසින්. 1852 දී උපන් ඔහු 1867 දී ජපානයේ අධිරාජ්‍යයා බවට පත් වෙන්නේ වයස අවුරුදු 15 ක්ව තියෙද්දීයි. මොහුගේ පාලන සමය මෙයිජි යුගය කියලා හඳුවනු ලබනවා. මෙයිජි යුගයේ දී මෙයිජි ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලබන වෙනස්කම් මාලාවක් ජපානය තුළ සිදු කරනු ලබනවා. මෙයිජි ප්‍රතිසංස්කරණ වලට පෙර ජපානය අනුගමනය කළේ ලෝකයෙන් හුදෙකලාව සිටීමේ ප්‍රතිපත්තියක්. මේ ඇවුරුණු ප්‍රතිපත්තිය නිසා ඔවුන් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වැඩි ඇයි හොඳැයිකම් පවත්වන්නට ගියේ නැහැ.

ටොකුගාවා ෂෝගුනේට්

මෙයිජි අධිරාජ්‍යයා බලයට පත්වෙන්නට පෙර ජපානය පාලනය කරනු ලැබුවේ ටොකුගාවා ෂෝගුනේට් නම් මිලිටරි පාලන තන්ත්‍රයක් විසින්. ටොකුගාවා ෂෝගුනේට් යුගයේ දී අධිරාජ්‍යයා හුදෙක් නාම මාත්‍රික තනතුරක් පමණක් වුණා. අධිරාජ්‍යයා ජපන් සමාජයේ ඉහලම තනතුර හෙබවූවත් ඔහුට හිමි වුණේ ඉතා සීමිත බලතල ප්‍රමාණයක් පමණයි. අනෙක් සියළු බලතල හිමිව තිබුණේ ෂෝගුන්වරුන්ටයි. අධිරාජ්‍යයා රාජ්‍යයේ සංකේතයක් සහ දේවත්වයේ පිළිබිඹුවක් ලෙසට පමණක් සැළකුණා. ෂෝගුන්වරු අධිරාජ්‍යයාව රූකඩයක් ලෙස පාවිච්චි කළ අතර සියළු පරිපාලන කටයුතු ෂෝගුන්වරු සන්තකයේ තබා ගන්නට කටයුතු කළා. මෙම මිලිටරි රජය එඩෝ ෂෝගුනේට් යන නමින්ද හැඳින්වුනා. එමෙන්ම එම පාලන තන්ත්‍රය පැවති 1603 සිට 1868 දක්වා වසර 265 ක් පමණ කාලය එඩෝ යුගය ලෙස හැඳින්වෙනවා. මෙම එඩෝ යුගයේ අවසාන භාගයේ දී ජපානයේ අධිරාජ්‍යයාව සිටියේ මෙයිජි අධිරාජ්‍යයා ගේ පියා වූ කොමෙයි අධිරාජ්‍යයා යි. මේ කොමෙයි අධිරාජ්‍යයා ගේ පාලන කාලයේ දී තමයි ජපානය සහ ඇමෙරිකාව අතර ප්‍රධාන පෙළේ සම්බන්ධතාවයක් ප්‍රථම වරට ඇති වෙන්නේ. ඒ කොමදෝරු පෙරී යටතේ 1853 දී සහ 1854 දී පැමිණි පෙරී ගවේෂණ යනුවෙන හැඳින්වෙන හමුදාමය සහ රාජ තාන්ත්‍රික කණ්ඩායම් සමඟ. මේ සමඟම එතෙක් වසර 220 ක් තිස්සේ ජපානය විසින් ක්‍රියාවට නංවමින් පැවති සකෝකු (Sakoku) නමින් හැඳින්වූ විදේශීය රාජ්‍යයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් ඈත්ව සිටීමේ ප්‍රතිපත්තිය අවසන් කරන්නට බලපෑම් කරමින් එක්සත් ජනපදය සහ ටොකුගාවා ෂෝගුනේට් අතර 1854 මාර්තු 31 දින කනගාවා සම්මුතිය අත්සන් තැබෙනවා. එය, විදේශීය ආක්‍රමණ එල්ල කරන බවට ටොකුගාවා ෂෝගුන්වරුන්ව බිය ගන්වා, බලෙන් අත්සන් තබා ගන්නා ලද සම්මුතියක් ලෙසට සැලකෙනවා. එම සම්මුතිය මගින් ජපානයේ ෂිමෝඩා සහ හකොදතේ යන වරායයන් ඇමෙරිකානු යාත්‍රා සඳහා විවෘත කරනු ලබනවා. එමෙන්ම ඇමෙරිකානු යාත්‍රා සහ නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නටත්, ජපානය තුළ ඇමෙරිකානු කොන්සල් (විදේශ තානාපතී) කටයුතු පිහිටුවන්නටත් එමගින් අවස්ථාව සැලසෙනවා.

බොෂින් යුද්ධය

මෙම කනගාවා සම්මුතිය අත්සන් කිරීම, ටොකුගාවා ෂෝගුනේට් පාලන තන්ත්‍රය අහෝසි වී යාමට ප්‍රධාන වශයෙන් බලපෑ සිදුවීමක් වශයෙන් සැළකෙනවා. එම සම්මුතියට එළඹීම මගින් “ජපානය විවෘත කිරීම” නිසා ෂෝගුනේට්වරුන්ගේ හමුදාමය දුර්වලතාවය හෙළිදරව් වුණා. එතැන් සිට බටහිර ජාතීන් ජපානය තුළ දිගින් දිගටම වෙළඳ සහ රාජතාන්ත්‍රික කටයුතු සඳහා රැඳී සිටීමත්, ඔවුන්ගේ විවිධ ඉල්ලීම් ආදියත් ටොකුගාවා ෂෝගුනේට්වරුන්ට විශාල පීඩනයක් ඇති කළා. මෙම බාහිර බලවේගයන් ගේ බලපෑම නිසා පාලන තන්ත්‍රයන්ගේ වෙනස්කම් සහ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වෙන්නට පටන් ගත්තා. එමෙන්ම රට තුළ අභ්‍යන්තර කැරලි සහ සිවිල් යුද්ධ හට ගැනුණා. එහි එක් වැදගත් සිදුවීමක් වුණේ ටොකුගාවා ෂෝගුනේට්වරුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව අධිරාජ්‍යයාට පක්ෂපාතී වූ බලවේග විසින් ඇති කළ සිවිල් යුද්ධයක් වූ බොෂින් යුද්ධය (1868 – 1869) යි. එම යුද්ධයේ ප්‍රතිඵලය වූයේ මෙයිජි අධිරාජ්‍යයා ගේ නායකත්වයෙන් යුතු අධිරාජ්‍යයාට පක්ෂපාතී වූ බලවේග වල ජයග්‍රහණය යි. 1868 දී මෙයිජි අධිරාජ්‍යයා පූර්ණ පාලන බලතල හිමි කර ගන්නා ලද අතර, මෙයිජි ප්‍රතිසංස්කරණ වල ආරම්භය සනිටුහන් කරන ලදි. එමෙන්ම මෙයිජි අධිරාජ්‍යයා දේශපාලන බලයේ වෙනසක් සනිටුහන් කරමින් ජපානයේ අගනුවර කියෝතෝ සිට ටෝකියෝ වෙත අරගෙන යනවා. 1869 දී ටොකුගාවා ෂෝගුනේට්වරු නිල වශයෙන් යටත් වූ අතර අවසන් ෂෝගුන්වරයා වූ ටොකුගාවා යොෂිනොබු ඉල්ලා අස් වෙනවා. ඒ විදියට ෂෝගුනේට්වරුන්ගේ සහ සමුරායිවරුන්ගේ යුගය අවසන් වෙනවා. ඒත් කොහොමද ෂෝගුනේට් යුගයේ අවසානය සමුරායිවරුන්ගෙත් අවසානය වුණේ? අපි දැන් ඒ ගැන බලමු.

සමුරායිවරු

සමුරායිවරුන් ගේ මූලාරම්භය 8 වන සියවසේ අග භාගයේ දී පමණ සිදු වන්නට ඇතැයි සැළකෙනවා. ‘සමුරායි’ යන පදය මුලින්ම භාවිත කරනු ලැබුවේ ජපන් අධිරාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස සිටි දුනුවායන් හැඳින්වීමට යි. මෙම මුල් සමුරායිවරු දුනු ශිල්පයේ සහ අසරු ශිල්පයෙහි දක්ෂයෝ වුණා. ජපානයේ වැඩවසම්වාදයේ නැගීම සිදු වූ කමකුරා සහ මුරෝමාචි යුග ලෙස හැඳින්වෙන ජපානයේ මධ්‍යතන යුගයේ (12 – 16 වන සියවස්) දී සමුරායිවරුන් වෙනස් සමාජ සහ හමුදා පන්තියක් බවට පරිණාමය වුණා. ඔවුන් හමුදා ප්‍රභූන් බවට පත් වී ඩයිමියෝ ලෙස හැඳින් වූ බලවත් වැඩවසම් ස්වාමිවරුන්ට සේවය කළා. එමෙන්ම මේ කාලවල දී සමුරායිවරුන් “බුෂිඩෝ” ලෙස හැඳින්වෙන චර්යාධර්ම පද්ධතියක් වර්ධනය කරනු ලැබුවා. බුෂිඩෝ මගින් පක්ෂපාතීත්වය, ගෞරවය, යුතුකම සහ ස්වයං විනය වැනි ගුණ ධර්ම අවධාරණය කරනු ලැබුණා. බුෂිඩෝ මගින් යුධ පිටියේ දී සහ ඉන් පිටත දී ඔවුන්ගේ හැසිරීමට මග පෙන්වනු ලැබුණා. 15 වන සියවසේ අග භාගයේ සිට 16 වන සියවසේ අග භාගය දක්වා ජපානය, සෙන්ගෝකු හෙවත් රණකාමී රාජ්‍ය සමය ලෙස හඳුවනු ලබන සිවිල් යුද්ධ සහ ගැටුම් වලින් පිරි දීර්ඝ කාල පරිච්ඡේදයකට මුහුණ දුන්නා. සමුරායිවරු මේ ගැටුම් වල ප්‍රධාන භූමිකාවන් ඉටු කරද්දී ප්‍රබල ඩයිමියෝවරු රට පාලනය කිරීම සඳහා තරග වැදුනා.

ටොකුගාවා ෂෝගුනේට් යුගයේ දී සමුරායිවරුන්ට සමාජයේ සුවිශේෂී තැනක් හිමි වුණා. සමුරායිවරු, ඩයිමියෝ ලෙස හැඳින් වූ වැඩවසම් ස්වාමිවරුන්ට සහ ටොකුගාවා ෂෝගුනේට්වරුන්ට සේවය කළ පාරම්පරික රණශූර පන්තියක් වුණා. ඔවුන් සටන් කලාව සහ ආයුධ භාවිතය පිලිබඳව පුහුණුව ලැබූ වෘත්තීය රණ ශූරයන් වුණා. සමුරායිවරු ඔවුන්ගේ ඉඩම් හිමි වැඩවසම් ස්වාමිවරුන් වූ ඩයිමියෝවරුන්ට පක්ෂපාතී වූ අතර, ඩයිමියෝවරු ෂෝගුන්වරුන්ට පක්ෂපාතී වුණා. මෙම වැඩවසම් ධූරාවලිය එම යුගයේ ජපානයේ සමාජ හා දේශපාලන ව්‍යුහයේ පදනම වුණා. ටොකුගාවා යුගයේදී ජපානය තුළ යම් තරමක සාමකාමී වාතාවරණයක් පැවතුණා. සමුරායිවරු ඔවුන්ගේ ඩයිමියෝවරුන්ගේ වසම් වල පරිපාලකයන්, ඉඩම් භාරකරුවන්, සහ නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් ලෙස සේවය කරමින් මෙම සාමය පවත්වා ගැනීමේ කාර්යභාරයක් ඉටු කලා. එමෙන්ම බොහෝ සමුරායිවරු රණශූරයන් ලෙස ඔවුන්ගේ සාම්ප්‍රදායික භූමිකාවන්ගෙන් පරිබාහිරව නිළධාරීන් සහ පරිපාලකයන් බවටත් පත් වුණා. ඔවුන්ගේ ඩයිමියෝවරුන්ගේ වතු කළමනාකරණය, බදු එකතු කිරීම සහ ප්‍රාදේශීය කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඔවුන් වගකිව යුතු වුණා. සාමය පැවතුණු කාලවලදී, බොහෝ සමුරායිවරු කාව්‍ය රචනා කිරීම, තේ පැන් උත්සව සහ අක්ෂර ඇඳීමේ කලාව වැනි සංස්කෘතික කටයුතු වල නිරත වුණා. මේ විදියට ටොකුගාවා යුගයේ දී වෙනස්ම ආකාරයේ සමුරායි සංස්කෘතියක් වර්ධනය වුණා.

මෙයිජි ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මේ සියල්ල වෙනස් වී ගියා. අළුතින් පත්වුණු රජය, එහි නවීකරණ ප්‍රයත්න වල කොටසක් විදියට සමුරායි පන්තිය අහෝසි කර, අනිවාර්ය සේවයට කැඳවූ හමුදාවක් ඒ වෙනුවට ආදේශ කළා. මේ නිසා හිටපු සමුරායිවරුන්ට වෙනස් වන සමාජ – දේශපාලන වටපිටාවට අනුගත වීම සඳහා අරගල කරන්න සිදු වුණා. ඔවුන්ගෙන් සමහරු ව්‍යාපාර, දේශපාලන හෝ ශාස්ත්‍රීය ක්ෂේත්‍ර වල නව වෘත්තීන් වලට එළඹුණු අතර තවත් සමහරුන්ට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදු වුණා. තවත් සමහරු මෙයිජි යුගයේ දී පිහිටුවන ලද නව අධිරාජ්‍ය ජපන් හමුදාවට සම්බන්ධ වුණා. ඔවුන් ඔවුන්ගේ සටන් කුසලතා නවීන පන්නයට සකස් කළ නව හමුදාවට රැගෙන ආ අතර පළමු චීන-ජපන් යුද්ධය සහ රුසියා-ජපන් යුද්ධය ඇතුළුව ජපානයේ හමුදා ව්‍යාපාරවල ප්‍රධාන භූමිකාවන් ඉටු කළා. හිටපු සමුරායිවරුන් ගණනාවක් මෙයිජි රජයේ බලගතු පුද්ගලයින් බවට පත් වෙලා ජපානයේ නවීකරණ ප්‍රයත්නයන් හැඩගැස්වීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඔවුන් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් පිහිටුවා ගැනීමට සහ බටහිර ක්‍රමවේද සම්මත කර ගැනීමට දායක වුණා. මේ විදියට සමුරායි පන්තිය අහෝසි වෙලා ගියාම ඔවුන්ට හිමිවෙලා තිබුණු සුවිශෙෂී වරප්‍රසාද වල ද අවසානය සනිටුහන් වුණා. ඒ විදියට නැතිවෙලා යමින් තිබුණු සමුරායිවරුන්ගේ අවසන් යුගය ගැන තමයි මේ චිත්‍රපටියෙන් දැක්වෙන්නේ.

හරාකිරි

සමුරායිවරු ඔවුන්ගේ අභිමානය පිළිබඳව බොහෝ සෙයින් සිතනු ලැබුවා. ඒ නිසා සටනක දී සතුරාට පරාජය වීම හෝ ඔවුන්ගේ සිරකරුවෙකු වීමට වඩා මරණය වැළඳ ගැනීම යහපත් යැයි ඔවුන් සිතුවා. මේ නිසා එවන් අවස්ථාවල දී සතුරාගේ අතට පත් වනවාට වඩා, ස්ව කැමැත්තෙන්ම මරණය තෝරා ගැනීම ගෞරවයක් බව සමුරායිවරුන් ගේ පිළිගැනීම වුණා. මේ සඳහා හරාකිරි (Hara-kiri), එසේත් නැතිනම් සෙප්පකු (Seppuku) යනුවෙන් හැඳින්වෙන සියදිවි නසා ගැනීමේ ක්‍රම වේදය භාවිත කරනු ලැබුවා. එමගින් පරාජයේ අවමානයෙන් ගැලවීම, සතුරාගේ අතට පත් වීමෙන් වැළකීම, සතුරාගේ වධ බන්ධනයට පත් වීමෙන් වැළකීම යනාදිය අපේක්ෂා කෙරුණා. මෙම සෙප්පකු ක්‍රමවේදයේ දී පරාජයට පත් වූ සමුරායිවරයා ස්ව කැමැත්තෙන්ම, තමා විසින්ම ටන්ටෝ (Tanto) යනුවෙන් හැඳින්වෙන කෙටි තියුණු කඩුවක් වැනි ආයුධයකින් සිය උදර ප්‍රදේශයට ඇන ගෙන එම ආයුධය ශරීරයේ වම් පස සිට දකුණු පස දක්වා ඇදගෙන එනු ලබනවා. එවිට උදරය විවෘත වී රුධිර වහනය වීමෙන් එම පුද්ගලයා මිය යනවා. නමුත් බොහෝ විට මෙම සෙප්පකු ක්‍රමවේදය ක්‍රියාත්මක වෙද්දී කයිෂකුනින් නම් සහායකයෙකු ගේ සහාය ලබා ගැණුනා. එම කයිෂකුනින් විසින් උදරය කපා ගත් තැනැත්තාගේ ගෙල සිඳ දැමීම අපේක්ෂා කරනු ලැබුවා. මෙම කයිෂකුනින් පත් කරගනු ලැබුවේද සියදිවි නසා ගන්නා තැනැත්තා විසින්මයි. කයිෂකුනින් විසින් සියදිවි නසා ගන්නා තැනැත්තා සිය උදරය කපා ගැනීමෙන් පසු (දෙනු ලබන සංඥාවකට අනුව බොහෝ විට) එක කඩු පහරින් ඔහුගේ ගෙල සිඳ දැමීම අපේක්ෂා කෙරුණා. එසේ කිරීමට අපොහොසත් වුවහොත් එය කයිෂකුනින් ට සහ ඔහුගේ පවුලේ අයට අවමානයක් ලෙසට සැළකුණා. කයිෂකුනින් වරයෙකුගේ සහභාගීත්වයකින් තොරව සිදුවන සෙප්පකු ක්‍රියාවලියක දී, සියදිවි නසා ගන්නා තැනැත්තා විසින් සිය උදරය කපා ගැනීමෙන් අනතුරුව ටන්ටෝ නම් කඩුව උදරයෙන් ඉවතට ඇද සිය උගුරට ඇන ගැනීම හෝ කඩුව තම පපුව වෙතට යොමුව සිටින සේ තබා ගෙන එය මතට ඇද වැටීම හෝ සිදු කළ යුතු වුණා.

සත්සුමා කැරැල්ල

1877 දී ජපානයේ ඇතිවුණ සත්සුමා කැරැල්ල, The Last Samurai චිත්‍රපටියට ප්‍රධාන ආභාෂයක් වෙලා තියෙනවා. මේ සත්සුමා කැරැල්ලට සෙයිනාන් යුද්ධය කියලත් කියනවා. මේ කැරැල්ල තමයි ජපානයේ සිදු වූ අවසන් සමුරායි යුද්ධය ලෙස සැළකෙන්නේ. මේ සත්සුමා කැරැල්ලට නායකත්වය දුන්නේ හිටපු සමුරායිවරයෙකු (මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් සමුරායි සම්ප්‍රධාය තහනම් කරනු ලැබූ නිසා) වන සයිගෝ ටකමොරි විසින්. මේ සමුරායිවරයා තමයි චිත්‍රපටියේ අපිට දකින්න ලැබෙන කට්සුමොටෝ චරිතය බිහිවෙන්න ප්‍රධාන ආභාෂය වෙලා තියෙන්නේ. මෙයිජි රජයේ නවීකරණ, බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ වැනි ප්‍රතිපත්ති වලට එරෙහිව මේ කැරැල්ල හට ගැනුණේ. සත්සුමා කියල කියන්නේ ජපානයේ ටොකුගාවා ෂෝගුනේට් පාලන සමයේ තිබුණු දේශපාලන වසමක්. ඒ වසමේ හිටි සමුරායිවරයෙක් වුණු සයිගෝ ටකමොරි මේ අවසන් සිවිල් යුද්ධය මෙහෙයවපු නිසා ඔහුව තමයි සත්‍ය වශයෙන්ම ජපානයේ “අවසන් සමුරායිවරයා” කියලා හඳුන්වන්නේ. 1877 සැප්තැම්බර් වල දී ටකමොරි ගේ හමුදා ෂිරෝයමා සංග්‍රාමයේ දී දරුණු පරාජයකට ලක් වෙනවා. එහි දී ටකමොරිත් දරුණු තුවාල ලබනවා. ඒ විදියට කැරැල්ල අවසාන වෙනවා. මාරාන්තික තුවාල ලබපු ටකමොරි සෙප්පකු මගින් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණය, ජපානයේ සමුරායි යුගයේ අවසානය සනිටුහන් කරනවා.

නේතන් ඇල්ග්‍රෙන්

දැන් අපි බලමු කවුද මේ ඉයුජින් කොලෙක් (Eugene Collache) සහ යූල්ස් බෲනට් (Jules Brunet) කියන්නේ කියලා. මෙන්න මේ දෙන්නගේ සත්‍ය කථාව ඇසුරෙන් තමයි නේතන් ඇල්ග්‍රෙන් චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. ඉයුජින් කොලෙක් කියන්නෙ බොෂින් යුද්ධයේදී, ෂෝගුන්වරුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් සටන් වැදුණු ප්‍රංශ ජාතික නාවික හමුදා නිලධාරියෙක්. ඔහු “මිනර්වා” යන නමින් හැඳින්වුනු ප්‍රංශ නාවික හමුදාවට අයත්ව තිබුණු නෞකාවේ තමයි සේවයේ යෙදී හිටියේ. මේ නෞකාව ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් දාලා තියෙද්දී ඉයුජීනුත්, හෙන්රි නිකෝල් කියන ඔහුගේ මිතුරාත් නාවික හමුදාවෙන් පැනලා ගිහිල්ලා, බකුෆු පාර්ශ්වයට සම්බන්ධ වෙලා හිටපු තවත් ප්‍රංශ නිලධාරින් පිරිසක් සමග එකතු වෙනවා. බකුෆු කියන්නේ ඒ කාලයේ ජපානයේ පාලක රජය (ඒ කියන්නේ ටොකුගාවා ෂෝගුනේට් එක.). බොෂින් යුද්ධය, නැත්නම් ජපානයේ සිවිල් යුද්ධය සිද්ධ වෙන්නේ මේ බකුෆු පාර්ශ්වය සහ අධිරාජ්‍යයාගේ හමුදා අතර. ඉතින් ඉයුජින්ටයි නිකෝල්ටයි ඕනවෙලා තියනවා තව තවත් ප්‍රංශ නිලධාරීන් බකුෆු පාර්ශ්වයට එකාතුකරගෙන ඔවුන්ව ශක්තිමත් කරන්න. අන්තිමේදී 1868 නොවැම්බර් 29 වෙනිදා ඉයුජිනුත් නිකෝලුත් යොකුහුමා වරායෙන් වෙළඳ නැවකට නැව් නැගලා ජපානයෙන් පිටත් වෙලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ.

යූල්ස් බෲනට් කියන්නෙත් බොෂින් යුද්ධයේදී ටොකුගාවා ෂෝගුනේට් වෙනුවෙන් සේවය කරපු ප්‍රංශ හමුදා නිළධාරියෙක්. 1867 දී ඔහුව ජපානයට යවනු ලබන්නේ ප්‍රංශ හමුදාව විසින් කාලතුවක්කු උපදේශකයෙක් විදිහට. හැබැයි ඒ යවන්නේ අධිරාජ්‍යයාගේ හමුදාවට උපදෙස් දෙන්න නම් නෙවෙයි. ෂෝගුන්වරුන්ගේ හමුදාව නව්‍යකරණය කරන්න උපදෙස් දීමටයි. (හැබැයි චිත්‍රපටියේ නම් නේතන් ජපානයට යන්නේ අධිරාජ්‍යයාගේ හමුදාවට උපදෙස් දෙන්න. අනික නේතන් බොෂින් යුද්ධයට සම්බන්ධ වෙන්නෙත් නැහැ.) යූල්ස් ජපානයට එන්නේ 1867 ජනවාරි මාසයේ දී. ඇවිල්ලා අවුරුද්දක් විතර ෂෝගුන්වරුන්ගේ හමුදා පුහුණු කරවනවා. ජපානයේ ඉන්න අතරතුරදී ඔහුව කැප්ටන් තනතුරට උසස් කරන්වා. කොහොමහරි බොෂින් යුද්ධයේදී ෂෝගුන්වරු පරදිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයිජි අධිරාජ්‍යයා ජපානයේ සම්පූර්ණ පාලන බලතල තමන්ගෙ අතට ගන්නවා. 1868 සැප්තැම්බර් අවසානය වෙද්දි ප්‍රංශ හමුදා නිළධාරීන්ට ජපානයෙන් පිටවෙන්න කියලා ප්‍රංශ රජයෙන් අණ ලැබෙනවා. මේ නිසා ප්‍රංශ නිළධාරීන් ජපානයෙන් පිටත්වෙන්න නැව් සූදානම් කරනවා. ඒත් බෲනට් තීරණය කරනවා ජපානයේ නවතින්න. නැවතිලා ෂෝගුන්වරුන්ට උදව් කරන්න. අධිරාජ්‍යයාගේ රජය විසින් බෲනෙට්ව අත්තඩංගුවට ගන්න නියම කරනවා. ඒත් බෲනෙට් කොහොමහරි බේරිලා ආපහු ප්‍රංශයට පැන ගන්න සමත් වෙලා තියෙනවා. ජපන් රජය විසින් ප්‍රංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා බෲනෙට් බොෂින් යුද්ධයට සම්බන්ධ වෙලා කරපු වැරදි වලට දඬුවම් කරන්න කියලා. ඒත් ඒකෙන් බෲනෙට් ගේ ජනප්‍රියත්වය වැඩි වෙලා තියෙනවා මිසක ඔහුට ලොකු දඬුවමක් නම් ලැබිලා නැහැ. කොහොමහරි ඉයුජීන් සහ බෲනෙට් කියන මේ දෙන්නම සත්සුමා කැරැල්ල ඇතිවෙන්න කාලෙකට කලින් ජපානයෙන් පිට වෙලා තියෙනවා.

මෙයිජි ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල

මෙයිජි ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් විදියට තමයි ජපානය ලෝක බලවතෙකුගේ තත්ත්වයට පත්වෙන්න අඩිතාලම වැටෙන්නේ. ටොකුගාවා ෂෝගුනේට් අහෝසි වීම, වැඩවසම් ක්‍රමයේ අවසානය, සමුරායිවරුන්ගේ අවසානය වගේ සියවස් ගණනාවක් තිස්සේ ජපානය තුළ තිබුණු ක්‍රමවේද අහෝසි වෙලා යන්නෙත් මෙයිජි ප්‍රතිසංස්කරණත් එක්ක. සමුරායිවරු කොච්චර උත්සාහ කළත් ඔවුන්ට ආයේ නැගී සිටින්න ලැබුණේ නැහැ.

හරි එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් විස්තරේ මෙතනින් ඉවර කරනවා. මම හිතනවා අපැහැදිලි තැන් පැහැදිලි වෙන්න ඇති කියලා. නැත්නම් තවත් අවුල් වුණාද මන්දා නේද? කොහොමහරි, කවුරුහරි ඉවර වෙනකම් කියෙව්වා නම් ඒ අයට විශේෂ ස්තූතියකුත් කරන ගමන් එහෙනම් ගිහින් එන්නම්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ NCJD  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-last-samurai-2003-sinhala-subtitles/feed/ 1
From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/from-here-to-eternity-1953-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/from-here-to-eternity-1953-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 04:19:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54242 From Here to Eternity Sinhala Sub From Here to Eternity Sinhala Subtitles From Here to Eternity (1953) Sinhala Sub From Here to Eternity (1953) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ පාර අරං ආවේ ඔස්කාර් සම්මාන 13 කට නිර්දේශ වෙලා, හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය […]

The post From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
From Here to Eternity Sinhala Sub
From Here to Eternity Sinhala Subtitles
From Here to Eternity (1953) Sinhala Sub
From Here to Eternity (1953) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ පාර අරං ආවේ ඔස්කාර් සම්මාන 13 කට නිර්දේශ වෙලා, හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය ඇතුළුව ඔස්කාර් සම්මන 8 ක් ම දිනා ගන්න සමත් වෙච්ච From Here to Eternity කියන චිත්‍රපටිය. ආදායම් වාර්තා අතින් ගත්තොත් මේ චිත්‍රපටිය 1953 දී තිරගත වුණ චිත්‍රපටි අතරින් දෙවැනියට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටිය වෙනවා. (The Robe සහ Shane චිත්‍රපටි පිලිවෙළින් පළමු සහ තුන් වන ස්ථාන වල පසුවෙනවා.)

මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ 1951 අවුරුද්දේ දී නිකුත් වෙච්ච ජේම්ස් ජෝන්ස් කියන කතුවරයා ගේ, ඒ නමින්ම යුතු පොත පාදක කරගෙන. ඇත්තටම මමත් මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න පෙළඹුනේ පොත කියවද්දි ඇති වෙච්ච කැමැත්ත නිසා. ජේම්ස් ජෝන්ස්ගේ කතා පොතට හොඳ පාඨක ප්‍රතිචාර සහ විචාරක ප්‍රසාදය ලැබුණු නිසා ඊලඟ අවුරුදු දෙක ඇතුළත ඒ කතාව චිත්‍රපටියක් විදියට එළිදකිනවා. පිටු 900 කට වඩා වැඩි මේ පොතේ තියෙන කතාව ලොකු වෙනසක් කරන්නේ නැතුව ඉදිරිපත් කරන්න චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා. ඒත් අමෙරිකානු හමුදාව සහ හමුදාවට අයිති ස්ථාන නිරූපණය කෙරෙණ චිත්‍රපටයක් නිසා අමෙරිකානු හමුදාවෙන් අවසර ලබා ගැනීමට යාමේ දී, හමුදාවට අවශ්‍ය විදියට වෙනස්කම් කිහිපයක් සිදු කරන්න වෙලා තියෙනවා. කොහොම වුණත් පොතේ තියෙන ඇතැම් දෙබස් පවා කිසිම වෙනසක් නැතුව චිත්‍රපටිය තුළ අඩංගු වෙලා තියෙනවා දකින්න පුළුවන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fred Zinnemann විසින්. ඔහුගේ චිත්‍රපටි, ඔස්කාර් සම්මාන 65 කට නිර්දේශ වෙලා ඉන් 24 ක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහු හොඳම අධ්‍යක්ෂකවරයා විදියට දෙවතාවක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. කොහොම වුණත් අන්තිමේ දි මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ වුණාට පස්සේ අමෙරිකානු හමුදාවෙන් ඒ ගැන විරෝධතා එල්ල වෙලාත් තියෙනව චිත්‍රපටිය නිසා හමුදාවට අපහාසයක් වෙනව කියල.

චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. කතාවට පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න වගේ කාලෙක හවායි දූපත් වල තියෙන ස්කෝෆීල්ඩ් කියන හමුදා කඳවුර. (පොතේ කතුවරයා වෙච්ච ජේම්ස් ජෝන්ස් කියන්නෙත් මේ ආසන්න කාලයේදි මේ හමුදා කඳවුරේ සේවය කරපු කෙනෙක්. ඔහු තම හමුදා ජීවිතය තුළ අත්දැකපු සත්‍ය සිදුවීම් එහෙමත් එකතු කරලා පොත ලියලා තියෙන බව සඳහන් වෙනවා.) මේ හමුදා කඳවුරේ G කම්පැණි එකට මාරු කරලා එවන සාමාන්‍ය සෙබළෙක් වෙන රොබර්ට් E. ලී පෲවිට් කියන පුද්ගලයා වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ. පෲවිට් කියන්නේ හමුදාවෙ ඉන්න දක්ෂ බියුගල් වාදකයෙක්. ඒ වගේම ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුත් වෙනවා. ඒත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න සිදුවීම නිසා, පෲවිට් තීරණය කරනවා බොක්සිං ක්‍රීඩාවෙන් සමුගන්න. ඇත්තටම, (පොතේ තියෙන විදියට) මේ අවාසනාවන්ත සිද්ධිය වගේම, පෲවිට් ඔහුගේ මව මිය යද්දී, ඇයට වුණ පොරොන්දුවකුත් ඔහුගේ මේ තීරණයට හේතු වෙනවා. ඒ පොරොන්දුව තමයි (ආත්මාරක්ෂාවට වගේ) නොකරම බැරි අවස්ථාවක ඇරෙන්න වෙනත් කිසිම හේතුවක් නිසා තවත් පුද්ගලයෙක්ට පහර දෙන්නේ නැහැ කියන එක. මොකද ඇය ඇගේ ජීවිත කාලය තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය කියන දේවල් සෑහෙන අත් විඳපු සහ දැකපු කෙනෙක් නිසා. ඒ පොරොන්දුව තියෙද්දීත් පෲවිට් බොක්සිං ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද කියන එක ගැටළුවක් වුණත්, ඒක ක්‍රීඩාවක් නිසා ඒ පොරොන්දුව එතනට අදාල නොවුණාවත් දෝ කියල වගේ දෙයක් අපිට අනුමාන කරන්න පුළුවන්.

කොහොමහරි, දක්ෂ ක්‍රීඩකයෙක් වුණ පෲවිට් ඒ විදියට ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන ඔහුගේ ඒකකයේ ප්‍රධානියා වෙන කැප්ටන් හෝම්ස් කොහෙත්ම සතුටු වෙන්නේ නැහැ. හෝම්ස් උත්සාහ කරනවා කොහොමහරි පෲවිට්ව ආපහු ක්‍රීඩාවට එකතු කර ගන්න. හොඳින් බැරි නම් නරකින් හරි පෲවිට්ව ආපහු බොක්සිං වලට ගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. මොකද බොක්සිං ශූරතාව තමන්ගේ ඒකකය දිනා ගත්තොත්, තමන්ට නිළ තනතුරු වලින් ඉහළට යන්න ඒක උදව්වක් වෙයි කියලා ඔහු විශ්වාස කරන නිසා. හෝම්ස්ගේ මේ වැඩ පිළිවෙල නිසා පෲවිට්ට හමුදා ජීවිතේ සෑහෙන අමාරු වෙනවා. මේ කරදර මැද්දේ, පෲවිට්ගේ උදව්වට ඉන්න, වැඩියෙන්ම කිට්ටු යාළුවෙක් තමයි ඇන්ජෙලෝ මැජියෝ කියන්නේ. පෲවිට්ව කරදර වලින් බේර ගන්න මැජියෝ තමන් ගැන පවා නොහිතා ඉදිරිපත් වෙනවා. ඒත් අවසානයේදි මැජියෝටත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මැජියෝට ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ කරපු කෙනාගෙන් පළිගන්න පෲවිට් කල්පනා කරනවා.

සාජන්ට් වෝර්ඩ්න් කියන්නෙත් පෲවිට්ට උදව් කරන හොඳ නිළධාරියෙක්. ඔහුත් පෲවිට්ව කරදරේ වැටෙන්න නොදී බේර ගන්න සෑහෙන මහන්සි වෙනවා. ඒත් කැප්ටන් හෝම්ස්ගේ තනතුරු වලට තියෙන කෑදරකමත් එක්ක ඒක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කාලෙදි සාජන්ට් වෝර්ඩ්න් සහ කැප්ටන් හෝම්ස්ගේ බිරිඳ කැරන් අතර අනියම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් දෙන්නගේ සම්බන්ධතාවය වැඩි දියුණු වෙද්දී, කැරන්ට ඕන වෙනවා හෝම්ස්ගෙන් දික්කසාද වෙලා වෝර්ඩ්න් එක්ක විවාහ වෙන්න. ඒත් ඒ දේවල් හිතන තරම් පහසුවෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ජීවිතේ කියන්නේ විවිධ බාධක කරදර මැද්දේ ගලාගෙන යන දෙයක් මිසක් අපි බලාපොරොත්තු වෙන විදියටම දේවල් සිද්ධ වෙන ලස්සන හීනයක් නොවෙන බව කතාව, එහි සිදුවීම් වලින් අපිට ඉඟි කරනවා. ඒ වගේ බාධක, කරදර හමුවේ බුද්ධිමත්ව කටයුතු නොකළොත් වෙන්න පුළුවන් අනිසි විපාකත් අවස්ථා කීපයකදීම චිත්‍රපටිය තුළ විදහා දැක්වෙනවා.

ජපනුන් විසින් පර්ල් වරායට බෝම්බ ගහන්න පටන් ගන්නවත් එක්කම කතාව අපි නොහිතූ, වෙනස්ම පැත්තකට හැරෙනවා. ඉතින් අපේ කතා නායකයා වෙන පෲවිට්ට මොන වගේ ඉරණමක් අත් වෙයි ද? පෲවිට්ට අකමැත්තෙන් හරි බොක්සිං සෙල්ලම් කරන්න වෙයිද? පෲවිට් කලින් ඉතාම කැමැත්තෙන් හිටපු බොක්සිං ක්‍රීඩාවට දැන් මේ තරම් අකමැති වෙන්න බලපාපු ඒ අවාසනාවන්ත සිද්ධිය මොකක් වෙන්න පුළුවන්ද? මැජියෝ වෙනුවෙන් පළිගන්න පෲවිට්ට පුළුවන් වෙයිද? සාජන්ට් වෝර්ඩ්න්ගේ ආදර කතාවට මොකක් වෙයිද? අවසානය මොන වගේ වෙයිද?

චිත්‍රපටියේ රඟපාන නළු නිළියෝ ගැනත් කතා නොකළොත් ඒක අඩු පාඩුවක් වෙනවා නේද? පනස් ගණන් වල හොලිවුඩ් සිනමාවෙ හිටිය නළු නිළියො ගැන වැඩි දෙනෙක් අහලා නම් නැතුවත් ඇති. ඒත් ෆ්‍රෑන්ක් සිනට්‍රා ගැන නම් අහලා නැති වෙන්නත් බැහැ. ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම නළුවෙකුත් වුණු ඔහු තමයි මේ චිත්‍රපටියේ ඇන්ජෙලෝ මැජියෝ ගේ චරිතයට පණ පොවන්නේ. මේ චරිතය රඟපෑම වෙනුවෙන් ඔහුට හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයත් හිමි වෙනවා. මීට අමතරව මොන්ට්ගෝමරි ක්ලිෆ්ට් තමයි අපේ කතා නායකයා වෙන පෲවිට්ගේ චරිතයට රඟපාන්නේ. තව බර්ට් ලැන්කැස්ටර්, ඩෙබෝරා කෙර්, සහ ඩොන්නා රීඩ් සෙසු ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. තවදුරටත් මේ චිත්‍රපටියට සම්බන්ධ පිරිස ගැන කතා කරනවා නම්, පොදුවේ ඔවුන් සියළු දෙනාම පාහේ මේ වෙනකොට ජීවතුන් අතර නැහැ කියන එකත් සඳහන් කරන්න වෙනවා.

ඉතින් මීට අවුරුදු 70 කට විතර කලින් තිරගත වුණ මේ චිත්‍රපටිය බලල රසවිඳින්න කියල මම ඔයාලට අරාධනා කරනවා.

Gentlemen-rankers out on a spree,
Damned from here to Eternity,
God ha’ mercy on such as we,
Baa! Yah! Bah!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ NCJD සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/from-here-to-eternity-1953-sinhala-subtitles/feed/ 0